Showing posts with label මුවා. Show all posts
Showing posts with label මුවා. Show all posts

Saturday, May 28, 2011

මුවාගේ Love එක - අවසන් කොටස

ඔන්න ඉතින් ආදරණීය රසික රසිකාවියනි මුවාගේ සුපෙම්බර පෙම් පුරාණේ අවසන් කොටසට තමයි අපි එළඹිලා ඉන්නේ.ටිකක් පරක්කු වුණේ මගේ අන්තර් ජංජාල සම්බන්ධතාවේ ඇතිවුණු දෝෂයක් නිසා බව කරුණාවෙන් සලකන්න හොඳද.පරම කොටස් අමතක අයට සහ පරණ කොටස් කියවන්න බැරි වුණු අයට මෙන්න අවස්ථාව කියවලම එන්න පරණ ඒවා ටික.


ඔන්න කොල්ලනේ කෙල්ලනේ ජයග්‍රාහී දවස එළඹිලා තිබුණා. එදා තමයි මුවා තමන්ටම පොරොන්දු වුණේ අදනම් නයනා මුණගැහිලා අම්මපා හිතේ තියන ඒවා කියනවා විකාරෙන් වගේ කියලා. ඉතින් ඔන්න  අදාල දවසේ ක්ලාස් යන්න කියලා මං පාරට ආවා බස් එකේ නගින්න.මමයි මුවයි එක හෝල්ට් එකෙන් තමයි බස් කට්ටට නගින්නේ. යකෝ වෙනදා මං කලින් ඇවිත් කට කැඩෙනකං කන්ද පල්ලෙහා ඉදන් මුවාලගේ ගෙදර පැත්තට උඩුබුරන්න ඕන මෙන්න මූ අද ඇවිල්ලා ඉන්නවා තිහේ දශකේ මනමාලයෙක් හනිමූන් යන්න යනවා වගේ කිට් එකක් ගහලා. 
  අම්මට උඩු මුවා ඩෙනිමට ෂර්ට් එකක් ඇදලා.කවදාවත් නැතුව යටත් කරලා. ය‍කඩෝ....මෙන්න මූ ඉතිහාසේ පලවෙනි වතාවට කොණ්ඩෙත් පීරලා. පලාතම ඕඩිකොලොන් සුවදයි නංගිගේ ඕඩිකොලෝන් එක මූ ඇගේ චූ කරගත්තා වගේ හලාගෙන. ඉතිං කොහොම හරි මං දැක්කම මුට මල් හිනා වරුසාවයි. ඉතිං මං මුවාට උදේ පාන්දරම සුබපතලා නැග්ගා බස් එකට.

Sunday, May 15, 2011

මුවාගේ Love එක - 2 කොටස


 මුවාගේ Love එක - 1 කොටස බලපු නැති අය ඉන්නවනම් මෙතනින් ඒක බලන්න පුලුවන්. ඉතින් ඔන්න අද දෙවනි කොටස ලියන්න යන මොහොතේ මතක් කරන්න ඕන මේ ස්ටෝරියේ මට අමතක වෙන තැන් මතක් කරලා දෙන්නේ අපේ අහිංසක කබ්බා මල්ලි.

   ඔන්න ඉතින් අපි සෙට් එකම හා හා පුරා කියලා ඒ ලෙවල් ඉකෝන ක්ලාස් එකේ බාගෙට පිරිමින්ට අයත් පේලි දෙකක බොහෝම අපහසුතාවයෙන් වාඩිවෙලා ඉන්නවා. අපේ එකෙක්ගේවත් මූණ එච්චර හොද නෑ. මමයි.මුවයි.කබ්බයි.ජිම් කාරයයි එක පේලියක.මේක සාංඝික පේලියට පස්සේ පේලිය. මේ අංශක අනූවක් විතර ඈන්ගල් කරලා හදපු කොටසක තමයි මේ ඩෙස් ටික ති‍බුණේ ඒක නිසා වම් පැත්ත බැලුවාත් ගෑණු දැරිවියොටික අහිංසක විදයට බලං ඉන්නවා කෙලින් බැලුවොත් ස්ටේජ් එක. පස්සේ පේලියේ හිටියේ ටුබේ.ලකී.භූතයා.බූලා සහ කුලේ. අපේ කබ්බත් හිටිය. කලින්ම කියන්න ඕන අපේ කබ්බයි මමයි එකම ප්‍රාන්තේ.එකම දවසේ.එකම නගරේ උපන් එක වගේ පොරවල් දෙකක්. කබ්බයි මමයි ප්‍රාථමිකේ හිටියෙත් එකට. පස්සේ සිස්සත්තෙන් මට ට්‍රාන්සර් එකක් ලැබුණා. කබ්බයි . ටුබේයයි කලේ ආර්ට් නිසා අපිට උන් දෙන්නා සෙට් වුණේ ඉකෝන් ක්ලාස් එකේ විතරක් නිසා කට්ටියම රසගන්නේ මේ ක්ලාස් එකේ තමයි.
   ඔන්න ඉතින් ක්ලාස් එක පටන් ගන්න ටික වෙලාවක් තියනවා. අපි නලිය නලිය ඉන්න අතරේ කන්ද උඩ සර් ආවා. හීන්දෑරි පොර ඇවිත් මයික් එක ගත්තා අතට...පුස්...පුස්...ටොක් ගෑවා...සර් ගැන විනාඩි පහක විස්තරයක් කිව්වා. ඉකෝන් ගැන විනාඩි දෙකක විස්තරයක් කිව්වා. හරි ළමයි අපි වැඩ පටන් ගමු කියලා ලියන්න ගත්තා.

  අම්මපා ලියනවා ලියනවා  ඉවරයක් නෑ. කෙලි පොඩිත්‍තියෙක්ගේ මූණක් වත් බලන්න විදියක් නැතිව අපේ එවුන් පොලවේ පස්කන්න වගේම සර්ගේ අහිංසක දෙමව්පියන් පවා මතක් කරනවා. හත්තිලව්වේ ලියන එක ඉවරවුනේ ඉන්ටර්වල එකටම තමයි. ඉතින් ඉන්ටර්වල් දීපු ගමන් අපේ එවුන් අම්මෝ කියලා අත්බදා ගත්තා. අපේ සෙට් එක නැගිටලා ක්ලාස් එකෙන් එලියට යන්න යනවා. සේරම වගේ වෙබ් කැම් එක දාගෙන ඉන්නේ කෙලිපොඩිත්‍තියෝ පැත්තට. 
  අම්මට උඩු මෙන්න ඉන්නවා මගේ පරණ කැච් එකකුත්. ඒක හිතාමතාම ඩ්‍රොප්කරපු කැච් එකක් නිසා මම හිමීට මුවාට මුවා වුණා. ඔන්න තව දන්න කෙල්ලෝ කිප දෙනෙක් හිටිය. කල්පනී.චතූ.පෙම්බර මධූ.ඉසූ වගේ දන්න කියන අය අතරේ දකුණු පලාතෙම ප්‍රසිද්ධ ගෑණු ළමයිතුත් හිටිය. ඔය අතරේ අපේ මුවාගේ වෙබ් කැම් එක එහේ මෙහේ කැරකෙවී තිබිලා සෙන්ටර් වුණානේ තැනකට. අප්පේ ක්ලාස් එක කෙල්ලන්ගෙන් මූත් එක්ක හිනාවුණානේ එක කෙල්ලෙක්.

   අපේ සෙට්එකටම හිතාගන්න බැරිවුණා වගේම ජෙලත් වැඩිවුණා. අපේ එවුන් එකාට එකා මූණ බලා ගත්තා.මුවා දැම්මා නේද ඒකිට රිප්ලයි ස්මයිල් එකක් නිකං හංතානේ කතාවේ විජේ කුමාරතුංග වගේ. අම්මට උඩු කෙල්ලත් ෆුල් හොල්මන්. ඒකි විතරක් නෙවෙයි අපිත් හොල්මන්. ඇයි දෙයියනේ මෙච්චර මිස්ට සිලෝන් වගේ කොල්ලෝ සෙට් එකක් ඉදිද්දි මේකි මේ හාල්පාන්කොස්සා එක්කම හිනාවුණේ කියලා. අපේ සෙට් එකේ මුවා ඇරෙන්න අනිත් හැම එකාම ෆුල් ඩිසපොයින්ටඩ්. මුවා නම් මේ හිනාව දැක්කට පස්සේ කැකිරි පලනවා තනියම. ඩෙස් හතර පහකම හැප්පුණා. අඩි අටක් විතර උස උළුවස්සෙත් හැපුපුනා. ටැප් එක අරින්නේ නැතුව වතුර බිව්වා. ටොයිලට් එක කියලා බුදු මැදුරට රිංගුවා. ගේට්ටුව ඇරලා තියෙද්දිත් අමාරුවෙන් ගේට්ටුවෙන් පැන්නා. මුවා බුල් කෙලිනවා ඉවරයක් නෑ. ඒත් අපේ එවුන්ගේ සද්දයක්වත් නෑ.
 අපේ එවුන් කල්පනා කලේ එක්කෝ මේකි මුවා අදුරන කෙල්ලෙක්. නෑ වෙන්න බෑ.එහෙනම් මුවා මෙච්චර බුල් කෙලින්නේ නෑ. නැත්තං කෙල්ල හිනාවුණේ මුවා  එක්ක නෙවෙයි. එහෙනම් අපි එක්කද? නෑ එහෙනම් මුවා රිප්ලයි හිනාව දැම්මම ඒකි ආයෙත් හිනාවුණානේ. දෙයියනේ දැන්නං මේක අපේ සෙට් එකටම ජාතික ප්‍රශ්නයක්. මුවා බුල් කෙලිද්දි අපේ සෙට් එකම තාප්පෙට කකුලක් ගහගෙන නියපොතු කකා මේක කල්පනා කරනවා ඉවරයක් නෑ.

  - මුවා සමගින් කෙල්ල හිනාවුණේ ඇයි? අපිටත් ප්‍රශ්නයක් ඒක බලමුකෝ ඊළග කොටසෙදි-

මුවාගේ Love එක - 1 කොටස

  ඔන්න ඉතින් කොටස් වශයෙන් මුවාගේ ලව් පුවත ගැන කියන්න කලින් අපේ මුවා ගැන කියන්න ඕනනේ. මුවා කියන්නේ දකුණු පළාතේ මැද්දට වෙන්න පිහිටලා තියෙන ප්‍රධාන නගරෙක ඉදන් හූ තුනක විතර දුරින් ජීවත් වෙන කොල්ලේක්. කොල්ලෙක් කිව්වට ආධුනික කොල්ලෙක්. මුවා ගියේ මං ගියපු විද්‍යාලෙටම නිසා අහිංසක අපේ විද්‍යාලේ බාල්දු කරන්න මට බෑ. ඒත් මං අදටත් විස්වාස කරන්නේ මුවා අපේ විද්‍යාලෙට ගියේ විද්‍යාලයේ සහ අපේ තිබුණ අවාසනාවට කියලා. මුවා ගැන කියද්දි මුගේ බෝක්කු කට ගැනනම් අනිවාර්යයෙන් වෙනම කතාවක් කියන්න ඕන.ඒක පස්සට තියලා කියන්නම්කෝ මුවාගේ පෙම් පුවත ගැන.

    මුවා කියන්නේ ජීවිතයේ ප්‍රයිමරි අවධියේ අම්මාගේත්.සෙකන්ඩ්‍රි අවධියේ අක්කාගේත් ඉන්පසු අවධිවල මිත්තරයන්ගේත පාලනයන්ට යටත් වෙච්ච අහිංසක පොරක්. හැබැයි මුවාගේ නසරානි වැඩ නිසා සහ ගොබ්බ අදහස් නිසයි මු පලාතටම ජූත වෙලා තියෙන්නේ. මේ පලාතේ මිනිස්සුනම් මුවා කියන්නේ කව්ද කියලා කිව්වම හොදට දන්නවා. ඒත් අද වෙනකොට මුවා ලංකාවේ වැදගත් ආයතනයක වැඩ කරන නිසාත් අපි සේරටම කලින් කසාදෙකුත් කරගත්තු නිසා අනන්‍යතාවය වැඩිය එළිකරන්න බෑ. එහෙන් මෙහෙන් එලිවුණාට ඒක නිකං අමතක කරලා දාන්න ‍හොදේ.

   ඉතින් ඔන්න මුවාට කෙල්ලෙක් හිටියේ නෑ. මොකද ඒකාලේ වෙනකොටත් ලංකාවේ කාන්තා පරපුර කරපු පුණ්‍යකර්ම පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තිබුණ නිසා. ඔන්න සාමාන්‍ය පෙල ඉවරවෙලා ඊට එහා පෙල පන්ති පටන් ගන්න දවස්වල අනිත් එවුන්ට අපේ සෙට් එකේ කෙල්ලෝ එකා දෙන්නා හිටියා. විශේෂයේන් ටුබේ.බූලා.ජිම්.තව තව අපේ සෙට් එකේ බහුතරේකට කෙල්ලෝ හිටියා. ඒක නිසා ඔය දවස්වල මුවා හිටියේ පශ්චත්තාපෙන් පස්ස බිම ඇණගෙන. ඒ දවස් වල මූ මට කියන්නේ.. මචං එළා...මෙහෙම ඉදලා හරියන්නෑ...මමත් හොයාගන්න ඕන කෙලිපැටික්කියක්. ඉතින් අහිංසක කෙලිපොඩිත්තෝ ගැන හිතලා අපි කව්රුත් ඕකට රුකුල් දුන්නේ නෑ. 

    ඔන්න ඒ ලෙවල් ක්ලාස්  කියන්නේ ප්‍රේම පාරාදීසනේ.අපි ඒ ලෙවල් කරන්න තෝරගත්තේ කොමර්ස්. එදා ඉදන් අපේ එවුන් සේරම හැසිරෙන්නේ මැනේජර්ස් ලා.එකවුන්ටන්ස් ලා. බෑන්කර්ස් ලා වගේ. පාරෙ යන්නෙත් ගිණුම් ගහ ගහ. ඉතින් සේරම සෙට් එකම මුලින්ම ගියේ අපේ නගරේ තිබුණ සුපිරි එකවුන්ට් ක්ලාස් එකකට..අපේ සර් ටිකක් කොට මොඩල් පොරක්. ඉතින් ඔන්න පලවෙනි දවසේ ඉන්න කෙල්ලෝ දාහක විතර කන්දරාව දැක්ක විතරයි මුවා පොළවේ පස්කන්න හදනවා.ජිම් කාරයා පොලවේ ලිං හාරනවා මාපටගිල්ලෙන්. බූලා ඩෙස් හූරනවා හරියට වැලිකඩදාසියක් වගේ. ලකියා ඇටිකෙහෙල් කාපු රිලවා වගේ හතර වටේටම විරිත්තනවා කොල්ලන්ටත් විරිත්තනවා. භූතයා තුෂ්නිම්භූතවෙලා වගේ බලං ඉන්නවා.බලනකොට ඌට මීමැස්මොරෙත් හැදිලා(එදා ගෙදර යනකොටයි ඒක දන්නෙත්). ඉතින් එක එක ලෙඩ හැදිච්ච අපේ සෙට් එකයි බෝල බෝල බැලුම් බෝල වගේ කෙල්ලෝ දිහා බලං ඉන්න මාවයි දැකපු අපේ ක්ලාස් එසේ කෙල්ලොත් නිකං කරකවලා අතෑරියා වගේ බලං  ඉන්නවා. නිකං වෙන ග්‍රහලෝකෙකින් ආපු ස්ටුඩන්ස්ලා ටිකක් දිහා බලනවා වගේ තමයි උන් බැලුවේ.

   අපිට මොකද ඕවා කියලා අපි ගිහිල්ලා එක එක තැන් වල වාඩි වුණා. මං ගිහිල්ලා වාඩි වුණේ දාර පොරක් ගාව. ඌ අහිංසක හිනාවක් දාලා ගුඩ් මොර්නින් කිව්වා..කෙලිපොඩිත්තෝ දැකලා විකාර වෙලා හිටපු මං ඉබේම වගේ සේම් ටු යූ කියලා කිව්වා. ඒක නොතේරුණු නිසාද කොහේද අර තඩි නරියා ආයෙමත් අහිංසක තාලෙට හිනාවුණා.

   ඔන්න ඉතින් පැය දෙකක් විතර විකාරෙන් වගේ එකවුන්ට් ක්ලාස් එකේ මුල්ම දවසේ හිටපු අපි සෙට් එක හරක් ගාලකින් එලියට එනවා වගේ එලියට එන්න පඩිපෙල බහිනවා. ඊලගට කස්ටිය සෙට්වෙලා පඩිපෙල බහින ගමන්ම කථාකලේ ඉකෝන්වලට කාගෙද ක්ලාස් යන්නේ කියල. මේ ක්ලාස් එකේම පහල තට්ටුවේ ඉකෝන් ක්ලාස් එකක් තව ටිකකින් පටන් ගන්නවා කියලා එකෙක් කිව්වා. කන්දඋඩ සර්ගේ ක්ලාස් එකට යමු කියලා අපි ඒක මතික තීරණේකට ආවා. ඔන්න ඉතින් කස්ටිය ඒ ක්ලාස් එකට රිංගුවා. කට කපලා සෙනග. හරියට සැමන් ටින් එකක මාලුවා ඉන්නවා වගේ. කෙල්ලෝ වැහි වැහැලා. 
   ඉතින් අපේ එවුන්ටික ආයෙත් පුරුදු ලක්ෂණ පෙන්නන්න පටන් ගත්තා. උදේ ක්ලාස් එකේ වගේම මේකේ කෙල්ලොත් අපි දිහා බැලුවේ නිකං විකාරෙන් වගේ. ඉකෝන් ක්ලාස් එකේ විශේෂත්වේ තමයි ආට් කරන එවුනුත් එන එක. ඉතින් අපේ පොදු පිළිගැනීමේ හැටියට ලස්සනම කෙල්ලෝ ගොඩක් කලාබරයි. ඉතින් මේ කලාබර ලස්සන කෙල්ලො ටිකක් හරි ඉකෝන් කරන්නත් එනවා. ඒක හරියටම හරි කියලා පෙන්නන්න වගේ ඉකෝන් ක්ලාස් එකේ ඉන්නවා නිකං ඉටි රූප වගේ නංගිලා දුසිම් ගණන්. හරියට සුපර් මාර්කට් එකේ රාක්කවල ඉන්නවා වගේ. 

   ඉතින් කෙල්ලෙක් නැතිව සුසුම් හෙල හෙල හිටපු මුවා මේ වා දැකලා පස්වනක් ප්‍රීතියෙන් ගිගුම් දෙමින් බෙ‍රිහන් දිදි බල්ලෙක් වගේ උඩු බුර බුර තමයි ක්ලාස් එකට රිංගුවේ. ඉතින් වාඩිවෙන් පස්සේ පේලිවලනම් අගලක් වත් ති‍බ්බේ නෑ. ඉඩ තිබුණේ ඉස්සරහා පේලි දෙකේ තමයි. මුල් පේලිය සාංඝික කරලා තිබුණ නිසා තැඹිලි පාටින් දිලිසි දිලිසි තිබුණා. දෙවනි පේලිය හා තුන්වෙනි පේලිය අධ්‍යාපනයටම කැපවුණු උප්පැන්න සහතිකයට පමණක් පුරුෂ ලෙස හැදින්වෙන කොල්ලෝ සදහා වෙන්කරලා තිබුණා. දෙයියනේ මුං එක්ක නේද අපිටත් වාඩිවෙන්න වෙන්නේ කියලා අපේ සෙට් එකම ‍පුල් මූඩ් ගහලයි හිටියේ. කරන්න දෙයක් නෑ ඉතින් ඊළග සතියෙවත් තැනක් අල්ලගමු කියලා කස්ටිය වාඩිවුණා.

    - පෙම් අත්පොත් තබන මුවා ඊලග කොටසින් -